Top Story

අභිමානවත් සාර්ථක ගැහැනියක් වන්න

හැදිමිට

ඊර්ෂ්‍යාවෙන් තොර මනුෂ්‍යයෙකු පිළිබඳ ඔබ අසා තිබේ ද? පොදුවේ අප හැමෝටම තව කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වීම ස්වභාවිකයි. සාමාන්‍යයෙන් එතනදී කැපී පෙනෙන්නේ කාන්තාවන් ය. එහෙත් ඔබ ඊර්ෂ්‍යාවෙන් තොර කාන්තාවක් ගැන අසා තිබේ ද? ඔබත් කැමතිද එහෙම කෙනෙක් වෙන්න.
ඊර්ෂ්‍යාවෙන් තොර කාන්තාව තමා කවුද කියන්න හොඳ හැටි දන්න කෙනෙක්. තමාගේ ශක්තිය ගැන විශ්වාසය තිබෙන කෙනෙක්. අනෙක් අයට වඩා තමා ගැන විශ්වාස කරන තමාගේ වගකීම් අනුන්ට නොපරවන අභිමානවත් කාන්තාවකි. එවැනි කාන්තාවකට තමාගේ ගමන පැහැදිලිය. තම අරමුණු පැහැදිලිය. ඇයට තමා යන ගමන පිළිබඳ සැලසුම් අදිනවා මිසක අනුන්ට ඊර්ෂ්‍යා කරමින් කාලය කා දමන්නට වෙලාවක් නැත. ඔබට යමෙක් ඊර්ෂ්‍යා කරනවා නම් ඒ තැනැත්තා අනිවාර්යයෙන් ම ඔබට වඩා පහළ මට්ටමක සිටින කෙනෙකි. එනිසා ඔබත් ඔබේ පෞරුෂත්වය ගොඩ නඟන්න. ඊර්ෂ්‍යාවෙන් තොරවන්න. ඒවා ගැන හොයනවාට වඩා ඔබ කාර්ය බහුල වන්න. ඔබේ අගය ඉහළ යන්නේ එතකොටය. 

ඇය අවංකයි
අවංකකම යනු විශාල නිධානයකි. වටිනා වස්තුවකි. එය ලාභදායී මිනිසුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. එනිසාම ඔබ කාන්තාවක් නම් අවංක වීම ඔබේ ගමනට විශාල ජයග්‍රහණයක් එක් කරන බවත් මතක තියාගන්න. ඇත්ත කියන්න. හැමවිටම ඇත්ත පවසන්න. මන්ද බොරුව ඉතා ඉක්මනින් අමතක විය හැක. ඔබ නිරත වන සෑම ක්ෂේත්‍රයකදීම මේ අවංක බව රැක ගන්න. ඔබේ රැකියා ස්ථානයේ දී යෙහෙලියන් අතර, ගමේදී, අසල්වැසියන් අතරේ දී මේ හැම විටම අවංක වන්න. නිතරම ඇත්තම කියන්න. එවිට ඔබේ පෞරුෂත්වය ඉබේම ඉහළ යාවි. ඔබේ බොරුවකට ප්‍රසිද්ධිය හම්බුණොත් කුමකින් කුමක් වේවිද? ඔබ අරමුණකට, ඉලක්කයකට යන කාන්තාවක්ද මවක් ද, බිරිඳක් ද, සමාජ සේවිකාවක්ද, ව්‍යාපාරික කාන්තාවක් ද… හැම විටම ඇත්ත කියන්න අවංක වන්න.

ඇය සමාව දෙයි
ත්‍දරටසඩැ ්බා ත්‍දරටැර එය හරිම සරලයි නේද? හරිම පහසුයි නේද? මේ ක්‍රියාදාමය ක්‍රියාවට නැංවූ විට මොනතරම් පහසුද කියා ඔබ දන්නවා ද?
ඇයි අපි කෙනෙකුට සමාව දෙන්නේ. ඒ කිසිසේත්ම එම කෙනා සමාව දීමට සුදුසු නිසා නොවේ, සමාව දීමෙන් පසුව ඔබේ හිතේ තිබුණ කළුවර පදාසයක්ම ඉවත් වී යන නිසාය. ඉන් ආලෝකවත් වන්නේ ඔබේ හිත් අහසයි. නැත්නම් ඔබට වැරදි කරන සියල්ලන්ගේම මතකයන් ඒ වැරදි, ඔවුන් බැණ වැදුණු වචන මේ සියල්ලම ඔබේ මනසේ ගබඩා කර තබා ගත් පසුව කෝ ඔබට අලුතෙන් යමක් හිතන්න ඉඩක්? ඔබේ මනස අවුරාගෙන සිටින වැරදිකරුවන්ට පොදු සමාවක් දී ඔවුන්ව අතාරින්න. ඉන් පසුව ඔබේ මනසට දැනෙන සහනය අත් විඳින්න.

ඇය කරුණාවන්තයි
කරුණාවන්තකම අපේ ආගමත් සංස්කෘතියත් සමග පැවත එන දෙයකි. කාන්තාවකගේ හදවත කරුණාවන්ත කමේ සාගරයක් වන්නේ ඇය මවක් වීමෙන් අනතුරුවයි. මවකගේ ගුණය හදවතට කිදා බැසීමත් සමග ම තමන්ගේ දරුවාට මෙන් අනෙක් දරුවන්ටත් සලකන්නට හැකි නම්, සතෙකුට, සීපාවෙකුට පවා කරුණාවන්ත වෙන්නට හැකි නම් එය ඔබේ මනුසත් බවට කෙතරම් ආභරණයක් ද? ඔබේ දෙමාපියන්ට මෙන්ම පාරේ හමුවන මහලු මිනිසෙකුට, රෝගියෙකුට, යාචකයෙකුට කරුණාවන්ත විය හැකි නම්… උදව්වක් අවශ්‍ය කෙනෙකුට කරුණාවන්ත විය හැකි නම් , අමාරුවේ වැටුණු කෙනෙකුට යා යුතු මඟ පෙන්වන්නට හැකි නම් ඔබේ වටිනාකම ඉබේම ඉහළ යයි.

ඇය ධනාත්මකයි
ජීවිතය දිනවන්නට අවශ්‍ය ප්‍රධානතම දෙයකි ධනාත්මක බව. ශ්‍රේෂ්ඨ කාන්තාවන් හැම දෙනාම එම තැනට එන්නට ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නට හේතුව වී ඇත්තේ, ඔවුන් සිතන සිතුවිලි ධනාත්මක වීමයි. මුළු ජීවිතයම කඩා වැටී ඇති මොහොතක දී පවා ඇය ධනාත්මක ව සිතන්නීය. සියල්ලම අහිමිව තිබෙන වෙලාවකදී පවා දිරියෙන් වැඩ කරන්නට ඇය තම යටි සිතට අණ දෙන්නීය. නොඑසේ නම් ඇය කුස්සියේ දුම්රොටුවලින් වැසී ගිය තවත් එක ශ්‍රේෂ්ඨ මවක් බිරිඳක් පමණක්ම වන්නී ය. තම වස්ත්‍රයෙන් පවා දැලි සුවඳ විහිදුවන තවත් එක කුස්සි අම්මා කෙනෙක් වන්නී ය. කාන්තාවනි, ඔබ කාන්තාවක් වී ඉපදුණේ කුස්සියට යන්නට වරම් දෙන්නට නොවේ. එසේ කියන්නේ ඉපැරණි සංස්කෘතියයි.
“හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ..” කියා මුල සිටම මේ සමාජය ඇයව යැව්වේ කුස්සියටයි. ඔබ එය වෙනස් කරන්න. හොඳ මවක්, බිරිඳක් වගේම ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවක් වෙන්න. පොත් පත් කියවන්න ඔබේ කාලය වෙන් කරන්න. හොඳ චිත්‍රපටියක් බලන්නට ඔබේ කාලය දෙන්න. කොටින්ම ඔබේ පෞරුෂත්වය ඉහළ නංවා ගන්නට ඔබ ඔබට කාලය දෙන්න. ඔබේ සිතුවිලි වෙනස් කර ගන්න.

ඇය හොඳ සවන්දෙන්නියක්
කාන්තාවක් අනිවාර්යයෙන් හොඳ සවන් දෙන්නියක් විය යුතුය. ඇය තම දරුවන්ට හොඳින් සවන් දී ඔවුන් තේරුම් නොගතහොත් සිද්ධ වන්නේ දරුවන් නොමග යාමය. දරුවෙකු බිහි කිරීමේදී මවක විඳින වේදනාවට වැඩි වේදනාවක් දරුවෙකු නොමඟ යාමේදී විඳින්නට සිදුවේ. අද රූපවාහිනියේ දකින දරුවන්ගේ අනිසි ක්‍රියා කොතරම් ද? පිහි ඇනුම්, මත්ද්‍රව්‍ය නිසා විනාශ වීම්, ලිංගික ක්‍රියාකාරකම් මේ සියල්ලෙන් දරුවන්ගේ මනස දූෂණය කරයි. අවසන දරුවා ආතතියෙන් පෙලෙයි. සියදිවි නසාගැනීමට වුවද පෙලබෙයි. නමුදු දරුවන්ට සවන් දී ඔවුන් තේරුම් ගැනීමට හැකි නම් අනාගතයේ දී සිදුවන විශාල ව්‍යසනවලින් ඔවුන්ව බේරා ගැනීමට හැකිය. එපමණක් නොව සැමියාට, දෙමව්පියන්ට හොඳ සවන් දෙන්නෙක් විය යුතුය. විවාහයෙන් පසු ඕනෑම දෙදෙනෙක් අතර ආකර්ෂණය අඩු වේ. බොහෝ පිරිමින් අනියම් සබඳතාවලට පැටලෙන්නේ උවමනාවකටම නොවේ. බිරිඳගේ අවධානය අඩුවීමෙන් ඇතිවන හිස් තැන පුරවා ගන්නටය. අවසානයේ පන්සල් පල්ලි දේවාල ගානේ යාඥා කරමින් යනවාට වඩා දවසේ කුඩා කාලයක් සැමියාට දෙන්න. ඔහුට සවන් දෙන්න.
ඔබේ වියපත් දෙමාපියන්ටත් ඒ විදිහමයි. මරණයට කිට්ටු වෙමින් සිටින ඔවුන්ට ඇත්තේ තනිකමයි. ඒ තනිකම නැති කර ගන්නට නම් ඔබ ඔවුනට සවන්දිය යුතුයි. එසේම ඔබේ මිතුරු මිතුරියන්ට, නෑදෑයින්ට, අසල්වැසියන්ට ද හොඳ සවන් දෙන්නියක් වුවහොත් ඔබට ඇති වන ප්‍රශ්න පවා ඉබේම නැති වී යනු ඇත.

ඇය ඇගේ ජීවිතයට ගරු කරයි.
නිවසක අන්තිමට කන්නේ අම්මා ය. දංකුඩ ටික බෙදාගෙන කුස්සිය මුල්ලේ හිරමණය උඩ වාඩිවෙන්නේ  කාන්තාවය. ඉන් ගම්‍ය වන්නේ ඇය තමා ගැන කිසි සැලකීමක් නැති බවයි. පවුලේ අයට අඩුපාඩු බෙදා අවසන ඉතිරිය කටට දා ගන්නා අම්මා ගැන අපේ රටේ නම් කවි ගී පද බැඳ ඇත. නමුදු අම්මා කෙනෙකු කියන්නේ පවුලට වැඩකාරියක නොවේ. ඇයටත් ගමනක් තිබිය යුතුය. ඇයටත් අනාගතයක් තිබිය යුතුය. 
ජීවිතය ඇයත් විඳිය යුතුය. තමාගේ ජීවිතයට ගරු කරන්නට ලාංකේය කාන්තාව නම් පුරුදු වී නැත. නමුත් පවුලේ අම්මා තම ජීවිතයට ගරු කරන්නට පුරුදු වෙනවා නම් පවුලේ සෙසු අයට කකුල් උඩදාගෙන රූපවාහිනිය බලන්නට හිත හදා ගත නොහැකිය. තමාටත් ජීවිතයක් තිබෙන බව ඇය විසින් අනෙක් අයට ඒත්තු ගැන්විය යුතුය. 

ඇය අනෙක් අයට උදව් කරයි. පොලඹවාලයි.
ශ්‍රේෂ්ඨ කාන්තාවක් තමා සතු දැනුමෙන් හැමවිටම තව කෙනෙකුට මඟ පෙන්වීමක් කරයි. එසේත් නැත්නම් තව කෙනෙක්ව දියුණුව කරා යොමු කරවයි. ශ්‍රේෂ්ඨ කාන්තාවක් කිසි විටෙක උදව්වක් කිරීමට හැකියාව තිබියදී එය නොකර ඉන්නේ නැත.

ඇයට අනෙක් අය ගැන පැහැදිලි ඉඟියක් ඇත.
ඇයගේ අනුමානයන් නිවැරදිය. පිරිමියෙකු සත්‍ය කර කියන දෙයට වඩා ගැහැනියක අනුමාන කරන දෙය සත්‍යය. ඇයට ඉවක් තිබේ. පවුලේ අය ගමන් කරන්නේ කුමන අතටදැයි ඇයට හැඟෙයි. ඒ වෙනුවෙන් ඇය ක්ෂණිකව ක්‍රියාත්මක වේ. ගැහැනියක් වූ විට ඔහේ වැලක් මෙන් පණ නැති ජීවිතයක් ගත නොකොට ක්‍රියාකාරී විය යුතුය. තීරණ ගැනීමට ඇයට හැකියාව තිබිය යුතුය.

තරංගා දිසානායක ලිය