2024 – ඔක්තෝබර් මස 16 වන දිනට යෙදී ඇති ලෝක ආහාර දිනය නිමිත්තෙනි
තවත් ලෝක ආහාර දින සැමරුමක් අදට යෙදී තිබේ. මෙවර ලෝක ආහාර දින තේමාව වන්නේ, “යහපත් ජීවිතයකට යහපත් ආහාර” යන්න යි. විශේෂයෙන් බඩගින්නෙන් සහ මන්ද පෝෂණයෙන් තොර ලොවක් ගොඩනැඟීම සඳහා මහජනතාවගේ දැනුවත් භාවය වැඩි කිරීමට මෙම දිනය ඉතා වැදගත් වේ. විශේෂයෙන් අද වන විට ලෝක ආහාර අර්බුදය උග්‍ර වීමට ප්‍රධාන කරුණු කිහිපයක් බලපා තිබේ. එනම්, ආහාර නිෂ්පාදනය සහ ඒවා බෙදාහැරීම අතර ඇති අසමතුලිතතාවය, ගෝලීය දේශගුණික විපර්යාස නිසා කෘෂි නිෂ්පාදනයන්ගේ ඇති වූ දැවැන්ත බිඳ වැටීම, සාම්ප්‍රදායික සහ දේශීය ආහාර සංස්කෘතියට පිටුපෑම, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම, ජෛව විවිධවත්වය ශීඝ්‍රයෙන් වෙනස් වීම වැනි සාධක ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
ශ්‍රී ලංකාව අද වන විට උග්‍ර ආහාර අර්බුදයකට ළඟා වෙමින් පවතින බව දැකිය හැකි ය. විශේෂයෙන් මෙරට ඉතිහාසයේ යම් අවධියක තිබූ නිවහල් හා ස්වයංපෝෂී ආහාර සංස්කෘතිය යටත් විජිත යුගයත් සමග සම්පූර්ණයෙන් දෙදරා ගියේ ය. මෙම යටත් විජිත යුගයත් සමග ස්වයංපෝෂිත භාවයට ප්‍රධාන හේතුවක්ව තිබූ ආහාර සුරක්ෂිතතාවය අපට අහිමි විය. ඊට පසුව වැඩිවන ජනගහනය සඳහා වැඩි වැඩියෙන් ආහාර නිපදවීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින්, දියුණු තාක්ෂණ සහ උපකරණ, වැඩි අස්වනු බීජ සමග හරිත විප්ලවය නමැති සංකල්පය ලොවට හඳුන්වා දෙනු ලැබී ය. කිසිම සොයා බැලීමකින් තොරව ලංකාවේ පාලකයන් මෙය පිළිගන්නා ලදි. හරිත විප්ලව පෙරහැරේ පළමු කසකරුවා වූයේ ට්‍රැක්ටරය යි. මීගොන් බානට විශ්‍රාමදී කෙටි කලකදී බිම් සැකසීමේ සිට අස්වනු නෙළීම දක්වා සියලු දේ එයට පවරා දෙනු ලැබී ය. එයින් අනතුරුව උසස් තත්ත්වයේ බීජ යැයි පවසමින් සහ දේශීය බීජ වල නුගුණ ඉස්මතු කරමින් වැඩිදියුණු කළ බීජ වර්ග අප රටට හඳුන්වා දෙනු ලැබී ය. වසර දහස් ගණනක් තිස්සේ ඒ ඒ පරිසර පද්ධතිවලට අනුගතව උසස් පෝෂණ ගුණයෙන් අනූන වී ප්‍රභේද විශාල ප්‍රමාණයක් අපේ වගා බිම්වලින් අතුරුදන් විය. විවිධ සෞඛ්‍ය ගැටලු සඳහා භාවිතා කළ හැකි වී වර්ග විශාල ප්‍රමාණයක් ඒ අතර විය. නුවරඑළිය වැනි අධික ශීතල ප්‍රදේශවල පවා වැවුණු වී ප්‍රභේද අද අපට අහිමි වී තිබේ.
අතීතයේ සිට මේ දක්වා අප රටේ නව වී ප්‍රභේද විශාල සංඛ්‍යාවක් නිපදවා තිබේ. දැන් ලංකාව පුරා වගා කරනු ලබන්නේ එම වී වර්ගයන් ය. ස්වාභාවික වරණයට පටහැනිව තාක්ෂණය මූලික කරගෙන බිහි වූ මෙම නව බීජ සඳහා පසේ පැවති පෝෂණ සංඝටක ප්‍රමාණවත් නොවුණි. ඒ සඳහා රසායනික පොහොර යෙදීම ජයටම සිදුවිය. ට්‍රැක්ටරය මගින් ව්‍යූහාත්මකව වෙනස් කළ පස කෘත්‍රිම යෙදවුම් නිසා ජීවාත්මකව ද විනාශයට පත් විය. පස සරු කිරීම සඳහා නිහඬව සේවය කළ ක්ෂුද්‍ර ජීවීන් විශාල ලෙස වඳ වී ගියේ ය. ස්වභාදහමේ දෝලනයට අනුගත නොවූ කෘත්‍රිම වගාවන්ට කිසිදු රෝගයකට ස්වයංව ඔරොත්තු දීමේ හැකියාවක් නැත. එම නිසා දිලීර නාශක, කෘමි නාශක, වල් නාශක ටොන් ගණනින් වගා බිමට මුදාහැරීම සිදුවිය. අද වන විට බහුජාතික සමාගම් නිපදවා වැඩිදියුණු කළ බීජ නොමැතිව ගොවීන්ට වගා කළ නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ. බීජ වගා කිරීමේ සියලුම යෙදවුම් ඔවුන්ගෙන්ම ලබාගත යුතුව ඇත. ඔවුන්ගේ තාක්ෂණය සහ යෙදවුම් නොමැතිව තාක්ෂණයෙන් ඔද වැඩුනු බීජ පැළ වන්නේ නැත. අවසානයේ අපේ ගොවීන්ට තමන්ට අවශ්‍ය බීජ තමන්ම නිපදවා ගැනීමේ අයිතිය පවා අහිමි වීම ගැඹුරින් විමසා බැලිය යුතු ය. එමෙන්ම යෙදවුම් මිල වැඩි වීම නිසා නිෂ්පාදන වියදම නොසිතූ ලෙස ඉහළ ගොස් තිබේ. නමුත් මේ සියලු විශ්මිත වගා උපකරණ දියුණු යෙදවුම් වැඩිදියුණු කළ බීජ හමුවේ අප රටේ ආහාර අර්බුදය උග්‍ර වූවා මිස වෙන යමක් සිදු වී නොමැත. ආහාර අර්බුදය උග්‍ර වූවාට අමතරව පෝෂ්‍යදායී ආහාර වේලක අයිතිය ද අද වන විට අපට අහිමි වී තිබේ. ඒ අරුතින් බලන කල මෙවර ලෝක ආහාර දින තේමාව ඉතා කාලෝචිත බව සඳහන් කළ හැකි ය.
විශේෂයෙන් අද වන විට වෙළෙඳපොළ ආර්ථිකය මගින් පුද්ගලයාගේ ආහාර තෝරා ගැනීමේ මානව අයිතිය සම්පූර්ණයෙන් අහිමි කර තිබේ. වර්තමානය වන විට පුද්ගලයාගේ ආහාර අවශ්‍යතාවය හා තෝරා ගැනීමේ ක්‍රමවේදය ඇති කරන්නේ වෙළෙඳපොළ හා එහි ප්‍රචාරණ යාන්ත්‍රණය මගිනි. මේ තුළින් ගුණාත්මක දේශීය ආහාර සංස්කෘතිය සහමුලින්ම බිඳ වැටී තිබේ. විදෙස් අවන්හල් ජාලයක් මගින් මෙහෙයවන මෙරට බොජුන් හල්වලින් ආහාර ගැනීමේ සංස්කෘතියක් අද වන විට නිර්මාණය වී තිබේ. ආහාරයේ ගුණාත්මක භාවය ගැන නොව ආහාරයේ ප්‍රමාණය සහ රසය පිළිබඳ පමණක් සිතන ජාතියක් බවට අප ජාතිය පත්ව තිබේ. අද වන විට මාධ්‍ය හරහා ගුණාත්මක ආහාර සහ එහි සුභාවිතයන් වෙනුවට විටමින්, ප්‍රෝටීන්, ශක්ති ජනක කෘත්‍රිම පානයන් සහ ක්ෂණික ආහාර පිළිබඳව ජනයාගේ මනස පුරවමින් තිබේ. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද ප්‍රධාන ආහාර වේල් පවා ක්ෂණික සහ කෙටි ආහාර සංස්කෘතිය විසින් මේ වන විටත් ආක්‍රමණය කර තිබේ. ළදරු ආහාර ප්‍රචාරණය පිළිබඳ නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරන බව පැහැදිලිවම පෙනී යයි. අද වන විට සියලු වගාවන් සඳහා අධික වශයෙන් කෘමි නාශක භාවිතා කරමින් තිබෙන පසුබිමක අපට ජීවත් වීමට සිදුව තිබේ. කෘමි නාශක යොදන ප්‍රමාණය යෙදිය යුතු මාත්‍රාව යෙදිය යුතු කාලය යන සියල්ල තීරණය කිරීමේ අයිතිය කෘමි නාශක සමාගම්වල ඒජන්තවරුන් අතට පත්ව තිබේ. රජයේ කෘෂිකර්ම නිලධාරියා පැත්තකට විසි වී ඇත. විශේෂයෙන් ජාතියේ ප්‍රධාන ආහාරය වන වී වගාව සඳහා අති විශාල කෘමි නාශක සහ වල් නාශක භාවිතා කරයි. 2004 ජාත්‍යන්තර සහල් වර්ෂය ලෙස නම් කිරීමේදී එහි තේමාව වූයේ “සහල් යනු ජීවිතය යි” (Rice is Life) නමුත් ඒ තේමාව කෙරතම් දුරට වර්තමානය වන විට යථාර්ථයක් වී ඇත්දැයි වී වගාවට යෙදෙන කෘමි නාශක ප්‍රමාණයෙන් අපට සිතා ගත හැකි ය. අද වන විට කෘෂි බිම් සැකසීමේ සිට අස්වනු නෙළා ගැනීම ගබඩා කිරීම දක්වා විශාල වස විස ප්‍රමාණයක් භාවිතා කරනු ලබයි. ඊට පසු ආහාර පිළියෙල කිරීමේදී විශාල වශයෙන් වර්ණකාරක, පිපුම්කාරක සහ රසකාරක යෙදීම ජයටම කරනු ලබයි. එවන් පසුබිමක් තුළ මෙවර ලෝක ආහාර දින තේමාව යථාර්ථයක් කර ගැනීමට විශාල වෙහෙසක් ගැනීමට අපට සිදුවනු ඇත.
එමෙන්ම අද වන විට ආහාර මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා දැනටමත් අවාසිදායක පරිසරයන්හි ජීවත්වන ජනයාට ඒ වෙත ළඟා වීම විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ හරිත විප්ලවය මගින් අපට දුන් දායාදයක් වන වගාව සඳහා විශාල ප්‍රාග්ධනයක් වැය කිරීමට සිදු වීමයි. මෙම තත්ත්වය තුළ දැනටමත් මෙම ප්‍රජාවන් තුළ දුෂ්පෝෂණ තත්ත්වයක් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.
නීතිඥ – නිශාන්ත සමන් කුමාර