හැලොවීන් උත්සවේ නොදත් කතාව !

හැලොවීන් උත්සවේ ගැන ඔබ දන්නවද? ඇමරිකාවේ සහ කැනඩාවේ නම් මේ උත්සවේ හරිම ප්‍රසිද්ධයි. ඔවුන් එය පවත්වන්නේ ඔක්තෝබර් 31වෙනිදා. ලෝකෙ වෙනත් රටවල වගේම දැන් ලංකාවෙත් හැලොවීන් උත්සවේ සමරන්න පටන් අරන්. විවිධ රටවල වෙන වෙන නම්වලින් මේ හා සමාන උත්සව පැවැත්වුවත් ඒ හැම එකකම අරමුණ එකයි. ඒ තමයි සුරංගනාවියන්, මායාකාරියන්, යක්ෂයා, භූතාත්ම සහ මළ අයගේ ආත්ම සමඟ සම්බන්ධ වීම.
සමහරවිට ඔබට ජනප්‍රවාදවල එන සුරංගනාවියෝ ගැන, යක්ෂයන් ගැන විශ්වාසයක් නැතුව ඇති. හැලොවීන් වගේ උත්සව විනෝද වෙන්න, දරුවන්ගේ නිර්මාණ කුසලතා දියුණු කරගන්න ලැබෙන අවස්ථාවක් කියලා ඔබට හිතෙයි. ඒ වගේම විකට ඇඳුම් සංදර්ශනයක සිරිය ගන්න නිසා.

හැලොවීන් කියලා නම වැටුණේ කොහොමද?

හැලොවීන් කියන නම කෙල්ට්වරුන්ගේ උත්සවයක් වුණ සෞඅන් උත්සවය එක්ක සම්බන්ධයි. එක පොතක මෙහෙම කියනවා. “සෞඅන් උත්සවය පවත්වන්නේ ගිම්හාන කාලය ඉවරයි කියලා පෙන්නන්න. ඒ වගේම අඳුරු, සීත සෘතුව පටන්ගත්තා කියලත් ඒකෙන් ඇඟවෙනවා. ඒ උත්සවය සැමරුවේ නොවැම්බර් 1වෙනිදා. ක්‍රි.ව. 700 සහ 800 ගණන්වලදී ක්‍රිස්තියානි පල්ලිය ඒ දවස අලුත් නිවාඩු දවසක් විදිහට පිහිටෙව්වා. එයාලා ඒ නිවාඩු දවස හැඳින්නුවේ ඕල් සේන්ට්ස් ඩේ විදිහට. මිය ගිය සියලු සාන්තුවරයන්ව සිහි කරපු ඒ දවස ඕල් හැලෝස් ඩේ කියලත් හැඳින්නුවා. හැලෝ කියන්නේ සාන්තුවරයා කියන වචනයට පාවිච්චි කරපු පැරණි ඉංග්‍රීසි වචනයක්. ඊට කලින් දා හැන්දෑව හැඳින්නුවේ ඕල් හැලෝ ඊවන් විදිහට. පස්සේ කාලෙක හැලොවීන් කියලා කෙටි වුණේ ඒ වචනයයි.”—The World Book Encyclopedia.

උත්සවයේ සුල මුල සහ චාරිත්‍ර වාරිත්‍ර

හැලොවීන් උත්සවයේ මූලාරම්භය මීට “අවුරුදු 2,000කට කලින් කෙල්ට්වරුන් පවත්වපු සෞඅන් උත්සවය හා සම්බන්ධයි” කියලා විශ්වකෝෂයක සඳහන් වෙනවා. ඒකේ මෙහෙමත් කියනවා. “ඒ උත්සවය පවත්වන කාලයේදී මිය ගිය අය ජීවත් වෙලා ඉන්න අය අතරට එනවා කියලත් එයාලාට මිය ගිය අයව මුණගැහෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් කෙල්ට්වරු විශ්වාස කළා.

ඇඳුම් ආයිත්තම් හා රසකැවිලි

කෙල්ට්වරුන් සැමරුව මේ උත්සවය ගැන සඳහන් වෙන එක පොතක තියෙන විදිහට මැරුණ අයගේ ආත්ම තමන්ට හානියක් කරයි කියලා හිතපු සමහර කෙල්ට්වරු බය හිතෙන ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණා. එයාලා එහෙම කළේ ඒ ආත්ම “තමන්වත් මිය ගිය ආත්ම විදිහට සලකලා” හානියක් කරන එකක් නැහැ කියලා හිතපු නිසයි. තවත් අය මිය ගිය අයගේ ආත්ම සතුටු කරන්න හිතාගෙන රසකැවිලි හදලා පූජා කළා.— Halloween: An American Holiday, an American History.

පස්වෙනි සහ 15වෙනි සියවස් අතර කාලේදී කතෝලික පූජකයන් තමන්ගේ ප්‍රදේශයේ තිබුණ මිථ්‍යා ආගමික චාරිත්‍ර කතෝලික ආගමට ඈඳාගත්තා. ඒ විතරක් නෙමෙයි එයාලගේ බැතිමතුන්ටත් කිව්වා අමුතු විදිහට ඇඳ පැලඳගෙන ගෙවල් ගාණේ ගිහින් පොඩි පොඩි තෑගි ඉල්ලන්න කියලා.

හොල්මන්, වැම්පයර්, මායාකාරියන් සහ ඇවිදින මළ මිනී:

අතීතයේ ඉඳලා මේවා සැලකුවේ භූතයන් හා සම්බන්ධ චරිත විදිහට. ඒ චරිත “අද්භූත ජීවින්” විදිහට හඳුන්වපු එක පොතක කියලා තිබුණේ ඒ ජීවීන්ගෙන් “මරණය, මිය ගිය අය සහ මැරෙන්න තියෙන බය වගේ දේවල් නියෝජනය වුණා” කියලයි.—Halloween Trivia.

හැලොවීන් වට්ටක්කා නැත්නම් වට්ටක්කා ලන්තෑරුම් භූතයා:

පස්වෙනි සහ 15වෙනි සියවස් අතර කාලේදී “තමන්ට කෑම දුන්නොත් මිය ගිය අය වෙනුවෙන් යාච්ඤා කරනවා කියලා මිනිස්සු ගෙවල් ගාණේ ගිහින් කිව්වා. එහෙම යද්දී මදේ හාරලා අයින් කරපු ටර්නිප් (රාබු වර්ගයක්) ගෙඩියක මැද ඉටිපන්දමක් පත්තු කරගෙන ගියා. ඒ ඉටිපන්දමෙන් අදහස් කළේ ශුද්ධගිනිස්ථානයේ හිර වෙලා හිටපු ආත්මයි.” (Halloween—From Pagan Ritual to Party Night) සමහරු කියන විදිහට ඒ මිනිස්සු හිතලා තියෙනවා ඒ විදිහට ඉටිපන්දම් පත්තු කරගෙන ගියාම භූතයන්ව පලවාහරින්න පුළුවන් කියලා. 1800 ගණන්වලදී ටර්නිප් වෙනුවට වට්ටක්කා ගෙඩි පාවිච්චි කරන්න පටන්ගත්තා. මොකද උතුරු ඇමරිකාවේ වට්ටක්කා ඇති තරම් තිබුණා. ඒ වගේම වට්ටක්කා ගෙඩියේ මදේ හාරලා අයින් කරන්නත් ලේසි වුණා.