Top Story

ගැහැනු ජීවත්වෙන්නේ විශ්වාසය මතයි පුතේ…

පේරාදෙණිය විශ්වවිදාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
අත්තනායක එම්. හේරත්

පුතේ ගැහැනු කියන මේ ජාතිය ඉන්නවා නේද? එයාලා ජීවත් වෙන්නෙම විශ්වාසය මතයි. විශ්වාසය වෙනුවෙන් පණ වුනත් එයාල දේවි. ඒක මම හොඳට දන්නවා. නමුත් ඒ වගේමයි විශ්වාසය කියන දේ නැති වී ගියොත් මරන්න වුනත් පුළුවන් හයියක් ගැහැනුන්ට ඇතිවෙනවා. මොකද ගැහැනු ආදරය කියන දේ දෙන්නේ චුට්ට චුට්ට හංගන් නෙමේ… fදා්ත පුරෝලාමයි. ඒකමනේ ගැහැනුන්ට වරදින්නත් හේතුවක් වෙන්නේ, හදවතම ගලවා දුන් නිසා… ඔබට මිස වෙන කෙනෙකුට මේ පපුවේ ඉඩක් නෑ කියලා සංසාරය පුරාම දුක උරුම කරගන්නේ. කන්නගී මාරාවේස වී මධුරටට ආවේ පූජාවක් බදු වූ ඇගේ ආදරය.. පතිවෘත්තාව නිසාමනේ. වම් පියයුරුව ගලවා ශාප කරමින් පොළවේ ගැසුවේ මොනතරම් වේදනාවක් දුකක් ඒ හිත තුළ තිබුණ නිසා ද? කෝවලන් වාගේ ප්‍රේමයට ඇයත් චපල වූවානම් මේ ගිනි ඇගේ පපුවේ ඇති වෙන්නෙ නෑ. පුතේ බිරිඳක් සැමියාගේ වැරදි දැක දැක ඔහු මත්තේ ම එල්ලී හඬා වැටෙමින් ජීවිතය යදින්නේ නම්.. ඒ සැමියා සංසාරේ අසීමිත පිං කරලා තියෙනවා, එවන් බිරිඳක්.. අවංක බිරිඳක්.. හදවතින්ම එකම එක ප්‍රේමයකට පමණක් ම පෙම් කළ බිරිඳක් ලබන්න.
කෙනෙකු මත්තේම නහින හිතක් මුතු කැට වගේ දුර්ලභයි. ඔබට නොතේරුනම, වැරදුනම තැන මෙන්න මෙතනයි. ගැහැනියක් පිරිමියෙක් වෙනුවෙන් හඬා වැටෙන්නේ නම් ඒ පිරිමියාව තම ලෝකය තුළ පමණක් තබා ගන්නට අප්‍රමාණ දුකක් විඳින්නේ නම් ඇයයි නියම පතිනිය. ආත්ම ගාණක් පුරා ඔබ පසුපසින්ම ආ පාද චාරිකාව.. අවාසනාවකට බොහෝ පිරිමින් කඳුළුවලට හිනා වෙනවා. ගණන් ගන්නේ නෑ. ඉතිං යනවා. සුරඟනන් පසුපස. ජීවිතේ සතුට ඇත්තේ හොටු පෙරන් හඬන ගැහැනිය ළඟ නොව නෙක සළු පිළි පැළදූ සුරඟන ළඟ බව සිතනවා.
රැවටෙනවා. අර කෝවලන් වගේ. රැවටී ජීවිතේ සතුටු වෙන්න ලැබෙන්නේ බොහොම ටික කාලයයි. එතකොට පුතේ ජීවිතේ හොඳම කොටස අවසන් වී තිබෙන්න පුළුවන්. ඔබේ සීරිමාන්සය සපුරාගත් පසු සුරඟනන් ඔබ දමා තව තැනකට යනවා. ඔබට ආයේ හැරෙන්න වෙනවා. ඔබට පුළුවන්ද හිතට එකඟව ඔබව ජීවිතය තුළ නතර කරගන්න. අර හඬා වැටුණු ඒ උත්තමාවිය දෙස බලන්න.
උඹ නැත්නම් මට තව එකෙක් හොයා ගන්න පුළුවන් කියලා කට කොනකින් හිනාවෙලා ඔබට යන්න දෙන ගැහැනු තමා ඔය අපූරුවට සබඳතා අත්හරින දහම දෙන්නේ. හිතන්න එපා එවන් ගැහැනු හරි කියලා. එවන් හිත් යට ආදරේ නැහැ. ස්වාමිභක්තිය නැහැ. ඔවුන්ට ඕනෑ මිනිස්සු දාහක් සමග හරි ජීවිතේ විඳින්න. අද මේ සමාජයේ වැඩිත් එවන් ගැහැනුමයි. ඔබ මට ඕනෑ.. ඔබ නැතුව මට ජීවිතයක් නැහැ යැයි ගැහැනියක් ඔබම යඳිමින් හඬා වැටෙන්නේ නම් පුතේ ආන්න යශෝදරාව…. සිද්ධාර්ථ බුදු වෙන්නට යන බව දැන දැනත් ඔහුම පැතුවානම්, ගිහි ගේ හැර යන දවසේ ඒ බව දැන දැනත් දෑස් තද කර ගත්තානම් බුදු වීමෙන් පසුත් ඔහු තමා සොයා එනතුරු මඟ බලන් උන්නා නම් පුතේ ආන්න නියම පතිදම් රැඳි බිරිඳ. සිද්ධාර්ථ පිං කළා යශෝදරාවක් ලබන්න. පිරිමියෙක් මේ ජීවිතේ එක් වරක් හෝ යශෝදරා මාතාවට මල් පහන් පූජා කළ යුතු යැයි කියන්නේ ඒ නිසාමයි. යශෝදරා මාතාවට වඳින ගරු කරන පිරිමින්ට වදක භාර්යාවන් කවදාවත් මුණගැහෙන්නේ නෑ.
මේ ජීවිතය තුළ පිරිමියෙක් පතන්න ඕන යශෝදරා වන් බිරිදක්මයි. පුතේ ඔබේ ජීවිතේ අංශු මාත්‍රයකින්වත් දුකක් බවට පත් වන්නේ නෑ. ඈ ඔබ පසුපසින් හිඳ රකිනවා… ඔබට කවදාවත් අඟ හිඟයක් දැනෙන්න ඉඩ තියන්නේ නෑ. පසුතැවීමට හේතු කාරණා හදන්නේ නෑ. සඳ කිඳුරු ජාතකයේ වැදුනු ඊතලයෙන් මිය ගොස් ඇද වැටුණේ සිද්ධාර්ථයන්.. ප්‍රේමයේ මහා අධිෂ්ඨාන බලයෙන් ඒ මිය ගිය සඳ කිඳුරාට යළි පණ දුන් සඳ කිඳුරිය වූයේ යශෝදරාමයි. පුතේ ඔබ සෑම විටම හිතන්න සැබෑ ගැහැනියව ඔබ හැඩ කළා මිස හැඩි කළේ නෑ. මහ මෙර ඇය දරාගත්තා මිස ඔබේ හිස මත තැබුවේ නෑ. ඔබට අනා බත් ටික කවා ඔබේ කුස පුරවා සතුටු වූවා මිස ඇය ගැන ඇය හිතුවේ නෑ. එවන් බලගතු ආදරයක් ලබන්නත් පිරිමි ළඟත් බලගතු කර්ම ශක්තියක් තියෙන්න ඕනා. ඒ පින හුඟාක් අඩු නිසයි යකින්නියක් වගේ.. අම්බපාලිකාවක් වගේ ගැහැනු සසර ගමනේ ඔබට හමුවෙන්නේ. හොඳට මතක තියාගන්න. ඔබ වෙනුවෙන්ම ඉපදුණු ගැහැනියකගේ ආදරයට විවාහයට වංචා කරන පිරිමියෙකුට සසර පුරාම හොඳ ආදරයක්.. විවාහ ජීවිතයක් උරුම වෙන්නෙ නෑ.
පතිදම් රැකි බිරිඳකට අත උස්සන කිසිම සැමියෙකුට සංසාරේ පුරාම ආයේ පතිදම් රකින බිරින්දෑවරු මුණගැහෙන්නේ නෑ. පුතේ අද අපිට පැහැදිලිවම පේනවා වත්මන් යුග ජීවිත ඇතුලේ ඇති ගැටලු… අර්බුද… එහෙම වෙන්න හේතුවම ප්‍රේමයට ද්‍රෝහිවීමයි. ආදරයට වංචා කිරීමයි. ගේ ඇතුළේ කුලඟනක් වැඩ ඉද්දි කාමය මුල් කරගෙන වෙසඟනක් ළඟට යන පිරිමි නිරයේ උපදිනවා. පව් අපේ පිරිමි කරගන්නවා. එපා කවදාවත් මොහොතකට ආශාවක් නිසා ඔබට බත් ටික උයා දෙන.. ඔබේ රෙදි ටික හෝදා දෙන… ඔබට ම ජීවිතය පුදන බිරිඳකට ද්‍රෝහිකම් කරන්න.. රවට්ටන්න.. පුතේ සැනසීමක් නම් නෑ ඔබට… කරදර ප්‍රශ්න පැටවු ගහන්න ගන්නවා. කන්නගීගේ වේදනාව පිරි ශාපය දිහා බලන්න. මුළු රටක්ම ගිනිබත් වුණා. ගැහැනු එහෙමයි. නිවැරදිව ජීවත්වෙන සෑම ගැහැනු ආත්මයක් තුළම පතිවෘත්තාවට අධිපති දෙවඟන වැඩ ඉන්නවා. හුඟක් පිරිමින්ට අද ආතක් පාතක් නැතිවෙලා තියෙන්නේ මේ ශාපය ඒ තරම් ප්‍රභල නිසා. ප්‍රභලව වැදී ඇති නිසා. අවංකව පිරිසිදුව යහපත්ව ජීවත්වෙන ගැහැනියක් වංචනික ස්වාමියෙකුට ශාප කළොත් එතනින් එහා ඔහුට ජීවිතයක් නෑ. අද බලන්න ඉතාම අඩු වයසින් විවාහ වී ගැහැනු ළමයින්ගේ ජීවිත හා සෙල්ලම් කරන පිරිමි ළමුන්ට වෙන දේ. පිස්සෙක් වෙනවා පුතා. යන එන මං නැති පිස්සෙක් වෙනවා. මත්ද්‍රව්‍ය බීලා ඔය තැනින් තැන නාස්ති වී ඉන්නේ එවන් පිරිමි. ආදරය සෙල්ලමකට ගත්තා. දෙවියෝ දඬුවම් දුන්නා.
ඔය ගැහැනු ළමයෙකුගේ පිරිසිදු භව සෙල්ලමකට අරගත්ත පිරිමි ළමයි ඉන්නවා නේද? අර ගහෙන් ගහට කොටන පිරිමි කියන්නේ. ආත්මයක් විනාශ කර තව ආත්මයක් ළං වෙන ඒ ආත්මයත් නසා තවත් ආත්මයකට ළංවෙන. දන්නවාද එහෙම පිරිමින්ට මේ ලෝකෙ කිසිදාක ඉර – හඳ පායන්නේ නෑ. විඳින්න වෙනවා විඳවිල්ලක් පුදුම විදිහට. කවදාවත් යළි හොඳ ආදරයක් ලැබෙන්නේ නෑ.. හොඳ සැමියෙක් වෙන්න ලැබෙන්නේ නෑ. නන්නත්තාරයි මුළු ජීවිතයම.
අම්මා කෙනෙක් පණවගේ රැකබලා ගෙන ආරක්‍ෂා කරගත් ගැහැනු දරුවෙකුගේ පිරිසිදුබව නැති කර සෙල්ලමකට ගත්ත පිරිමි ළමයින්ට මුළු ජීවිතයම දුකක් වෙනවා. අධ්‍යාපනයක් පිහිටන්නේ නෑ. හරි හමන් විදිහට රස්සාවක් ලැබෙන්නේ නෑ. එහෙම අය හරි ඉක්මනටම ලෙඩ වෙනවා. ජරා ජීර්ණයට පත්වෙනවා. මිනිසුන් පිළිකුල් කරන තැනට පත්වෙනවා. සිහිය අවසිහිය වෙනවා. පුතේ ගැහැනු දරුවෙක් රකින්නේ පත්තිනි මෑනියෝ. ඇය ශාප කරන්න ගත්තහම කාලීටත් වඩා භයානකයි. ඔයාලා දැකලා තියෙනවද ඔය සමහර පිරිමි ඉන්නවා ජීවත් වුණත් මළමිනී වගේ. ඒ මෙවන් පිරිමි. හොඳට හිතන්න අම්මා වගේ ජීවිතය දෙන බිරිඳව ආදරයෙන් රකින්න. සතුටින් තියන්න. ඔබ කොච්චර බොරු කියන්න උත්සාහ කළත් බිරිඳක් දන්නවා මේ මට කරන්නේ වංචාවක් කියලා. ඇයට ඒක දැනෙනවා. ගැහැනුන්ට දිවැස් තියන කතාව පිරිමින්ට පිළිගන්නම වෙනවා. මොකද කඳ කුමාරයාගේ වෙනසක් ප්‍රියන්භිකාවට දැනුණා. තම සැමියා දවසක වල්ලි නම් කාන්තාවක් සොයා යන බව වේලාසනම ඇයට දැනුණා. පුතේ ගැහැනුන්ගේ ආදරය ඒ තරම් බලවත් ප්‍රබලයි.
පොරොන්දු දීලා ගැහැනු ළමයි තනි කරන්න එපා. විවාහ කරගත ගෙදර බිරිඳ දමා අන් අඹුවක් වෙත යන්න එපා. තමාව විශ්වාස කර, කරකාර ආ ඇගෙන් දික්කසාද වී වෙන විවාහයකට යන්න එපා. ඔබට පුතේ විඳවන්න වෙනවා විඳවිල්ලක් කරපු පවු ඇස් පනාපිට පෙන්නුම් කරමින්. මේක හරි බලගතු ඇත්තක්. ගැහැනියකගේ ජීවිතය සමග සෙල්ලම් කරන කිසිම පිරිමියෙකුට අංශු මාත්‍රයක සැනසීමක් මේ ලෝකෙ ලැබිලා නෑ. ඒ පිරිමි ආත්මය විනාශ නොකරගෙන ජීවත් වෙන්න හිතන්න. ඔය ගැහැනුන්ට අත උස්සන පිරිමින්ගේ අත් කැඩී බිඳී යන්නේ.. කොරවෙන්නේ ඒ ගැහැනුන්ට පේන්නමයි. ගැහැනියකට දුකක් දෙන්න කලින් දෙපාරක් හිතන්න. ඒ ශාපය සුළු පටු නෑ.

සටහන : මංජුල ප්‍රසාද් වීරසිං