Top Story

පුදුම හාස්කම් , ඒ මහත්තයා අත තියනවා විතරයි පිරිත් වෙනවා. !

“අපි මාවනැල්ලෙ නෝනා. මේ දරුවා පෙන්න ගන්න කියලා. ඉස්කෝලෙන් තමයි අපි ව නෝනා ළඟට එව්වේ… මේ අපේ බාල දුව. තව ලොකු දෙන්නෙක් ඉන්නවා. එයාලා ගොඩක් ලොකුයි. මේ දුව ඉන්නේ හතරේ. එකේ දෙකේ ටිකක් වැඩ කළා. දැන් දරුවා කොච්චරවත් නිදි. ඉස්කෝලෙදි කලන්තෙ දානවා. ඉස්කෝලේ වැඩ කරන්නෙම නැහැ. ඉස්කෝලෙදිත් නිදිලු‍.”‍

මේ දරුවා සකුණි ලෙස හඳුන්වමු.

“මට පණ නැහැ වගේ මැඩම්. පන්තියේ වැඩ කරන්නේ නැහැ කියලා අම්මයි ආච්චියි ගහනවා. ටීචර් දැන් ගහන්නෙ නැහැ.”‍ 
සකුණිලාගේ කතාව මෙසේය ...

“දරුවා කෑම කන්නෙ අඩුවෙන්. මේ දවස්වල අපේ ගෙදර පුලු‍ටු උයන්නෙ නැහැ. මේ පුලු‍ටු කියන්නේ ඔය බැදුම් වර්ග මස් මාළු‍ වගේ දේවල්. ගෙදරට ආරක්ෂාවක් කරලා තියෙන්නේ. අපිට ඒ දේවල් ගෙදරට ගේන්නවත් හොඳ නැහැ. මේ දවස්වල අපි දානේ ගෙවල් මඟුල් ගෙවල්වල යන්නෙත් නැහැ. නෝනට කිව්වට මොකද අපි මේ දවස්වල කිරි හොදියි බතුයි කන්නෙ. පෙරේදා එහා ගෙදරින් කෑම එකක් ගෙනාවා. ඒකේ ඉස්සො සුවඳ ආවම ගෙටවත් ගත්තෙ නැහැ වත්තේ කෙලවරේ වළට දැම්මා පිඟානත් එක්කම. බල්ලටවත් දුන්නේ නැහැ. ගෙදර තිබුණු පිඟානක් එහා ගෙදරට දුන්නා පිඟාන බිඳුනා කියලා. නේද අම්මේ. අපි ගෙදර කරෝල මුට්ටිය පවා වත්තේ කෙරවලේ වළට දාලා තියෙන්නේ”‍ 
සකුණිගේ අම්මයි ආච්චියි දෙන්නා තරඟෙට මේ දේවල් කියනවා ...
“අපි දන්න හොඳ උපාසක මහත්තයෙක් ඉන්නවා. ඔක්කොම දේවල් කියනවා බලාගෙන හිටියා වාගේ. අපි ඒ මහත්තයා කියන ප්‍රතිපත්තිවලට හිටියොත් අපිට හොඳට හරියනවාලු‍. ඔය ලොකු ලොකු මැති ඇමතිලා පවා ඒ මහත්තයා ළඟට ඇවිත් තියෙනවා ලු‍. ඒ අයට ඡන්දය දිනා ගන්න හැකිවුනෙත් මේ පිළිවෙත රැකලාලු‍. අපේ අහල පහල කිහිප දෙනෙක් අපිත් එක්ක ඒ මහත්තයා ළඟට යනවා. අපේ ඉඩම වටේට ම පිරිත් නූල් ඇදලා ආරක්ෂා කරලා තියෙන්නේ.”‍ 
“නෝනට කියන්ඩ නෝනා උගත්තුත් බොහොමයක් එනවා. ඒ මහත්තයා සති දෙකකට සැරයක් අපිට එන්න දිනයක් දෙනවා. අපි පොල්තෙලු‍යි, වතුර බෝතලු‍යි ගෙනියන්න ඕනෑ. ඒවා පිරිත් කරනවා. ඒ පිරිත් වතුර තමයි දරුවන්ට ලෙඩ්ඩුන්ට බොන්න දෙන්නෙ. ඒ මහත්තයා අත තියනවා විතරයි පිරිත් වෙනවා. පුදුම හාස්කම් තමයි එහෙ වෙන්නෙ නෝනා. එදාට ගොඩක් දුර ඉඳලා සෙනඟ එන්නෙ”‍ 
මේ සකුනිලාගේ කථාවයි. .......
දරුවන්ට මන්ද පෝෂණය ඇතිකරලා ඒ කරන සෙතෙන් වැඩක් තියෙනව ද?..
මේ මවත් දියණියත් එකතුවෙලා කරන මේ මිථ්‍යාව නිසා මේ දරුවා තව ටික දිනකින් මන්ද පෝෂණය නිසා මිය යන්නත් පුළුවන්. ආගම් වැරදි විදියට අර්ථකථනය කරමින් බොහෝ අන්තවාදී පිරිස් මේ දිනවල සමාජයේ දැකිය හැකි වේ. 
ආගමික අන්තවාදය මහ භයානක දෙයකි. පසුගිය දවසක එක ආගමික අන්තවාදී පුද්ගලයෙක් සයනයිට් ආහාරයට ගෙන සිය දිවි හානිකර ගත්තාම නිවන් දකින්න පුළු‍වන් කිව්වා. ඒ අන්තවාදී පුද්ගලයා පසුපස ගොස් කිහිප දෙනෙක් සිය දිවි නසා ගත්තා. පිටරට වලත් මෙවැනි ආගමික අන්තවාදී කතා ඇත. පසුගිය වසරේ නැගෙනහිර කෙන්නියාවේ ආගමික අන්තවාදී පිරිසක් බඩගින්නේ මැරුනොත් ජේසු ළඟට යනවා කියලා කුසගින්නේ මැරෙන්න හැදුවා. පොලිසිය මැදිහත් වීමෙන් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරුණා. 

ජනවාරි පළමු වෙනිදා ලංකාවට බුදු වෙන්න පැමිණි බව කියන පුද්ගලයාගේ දෙපාමුල වැටී එක් කාන්තාවක් ආවේෂයෙන් මෙන් ඔහුගේ දෙපා බදාගෙන දඟලන වීඩියෝවක් සමාජ මාධ්‍යයෙන් නිතරම දකින්නට ලැබුණා. ඒ අවස්ථාවේ ඇයට බෝධි සත්වයා වෙනුවෙන් මැරෙන්න කිව්වත් ඇය එසේ කරන බව නොවනුමානය. තම ආගම පිළිබඳව හරිහැටි නොදැන අන්තවාදී මිථ්‍යා මත පසුපස යාම තුළින් ඔබේ ජීවිතය කිසිදා ජයග්‍රහණය කරන්නේ නැත. මේ ඔස්සේ දිගටම ගියහොත් ඔබ මානසික රෝගවලට ගොදුරු වනවා පමණක් නොව, සියදිවි නසා ගැනීමටද හේතු වෙනවා. 
ඔබ කුමන හෝ ආගමක හිටියත් හදිසියේ පහළවෙන සාස්තෲවරු එකවරම ඔබේ ජීවිතයට ළං කර ගන්න එපා. ඔබට ඔබේ ආගම පිළිබඳව ඔබ මීට පෙර නො ඇසූ පුදුම සහගත දේවල් කියනවා නම් ඔබ ඔබේ ආගමේ පූජකවරයා, බෞද්ධ නම් පන්සලේ නායක හාමුදුරුවන් ආදින්ගෙන් ඒ අසා තහවුරු කරගන්න. හෙටත් තවත් අන්තවාදී මිථ්‍යාවන් දේශනා කරමින්, ඔබ පසු පස බොහෝ පිරිස් ඒවි. ඔවුන් මානසික රෝගීන් ය. ඔවුන් පසු පස යාමෙන් ඔබත් මානසික රෝගීන් වී තම පවුල් ජීවිතය, දරුවන් දෙමාපියන් පවා විනාශ වීමට ඉඩ තිබේ. මෙවැනි අන්තවාදී මිථ්‍යා මත නිසා මානසික රෝගීන් කොපමණ ඇත්ද?

ජ්‍යේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝචිකිත්සක
ශාන්ති කුමාරි ජයනෙත්ති