Top Story

වෙනස්ම ආර්ට් එකක් ලංකාවට හඳුන්වා දුන් සඳමිණි !

ඇය Mini Arts වලින් තමන්ගේ කලාවේ වෙනස පටන්ගෙන කවකටු ආර්ට්, පෑන් දෙක, පෑන් තුන සහ පෑන් හයකින් තමන්ගේ වෙනස් ම දක්ෂතාවය ලංකාවට හඳුන්වාදෙමින් ලංකාවෙම ආදරය දිනා අවසන්. මේ ඇය සමඟ සිදුකළ සොඳුරු කතාබහක්…

★ ඉතින් කොහොමද ජීවිතේ?
හොඳින්, මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නවා.

★ සඳමිණි ජිනාදරි කියන්නේ කවු ද? අපි මුලින් ම හඳුන්වමු නේද?
මම දැනට ගුරුවරියක්. චිත්‍ර විෂය භාර ගුරුවරියක් විදිහට සේවය කරනවා. මගේ ගම අම්පාර. ඒ උනාට මම දැන් ඉන්නේ කෑගල්ලේ. කෑගල්ලේ පාසලක චිත්‍ර විෂය උගන්වන ගුරුවරියක්.

★ චිත්‍ර අඳින්න උනන්දුවක් දැක්වූයේ පොඩි කාලේ ඉඳලම ද?
ඔව්, චූටි කාලෙ ඉඳලම චිත්‍ර කියන විෂයත් එක්ක මම එකට එකතු වෙලා තිබුණා. මොකද පවුලෙන් ආපු ආභාසයක් විදිහට. මගේ පවුලේ හැමෝම චිත්‍ර විෂය තමයි කරන්නේ. ඉතින් ඒ ආභාසය චූටි කාලේ ඉඳන් මට ලැබුණා. ඒ නිසා එතනින් එහාට ඒක වර්ධනය කරගෙන ගියා.

★ එතකොට පුංචි කාලේ ඉඳන් ම වෙනස් විදියට චිත්‍ර අඳින්න පුළුවන් ද?
ඔව්, වෙනස් විදිහට චිත්‍ර අඳිනවා. ඒ වුනාට මේ විදියට අලු‍ත් අලු‍ත් දේවල් නිර්මාණය කරන්න පෙලඹුණේ 2021 වර්ෂයේ ඉඳලා. 2021 ඉඳන් අලු‍ත් කන්සෙප්ට් ලංකාවට හඳුන්වා දීගෙන ඉදිරියට වැඩ ටික කරගෙන යනවා.

★ මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සඳමිණිගේ අපූරු වීඩියෝවක් වෛරල් වෙනවනෙ. කෝටුවක සවිකල පෑන් හයක් භාවිත කරමින් එකවර පුද්ගලයන් හය දෙනෙකුගේ රූප චිත්‍රයට නගනවා. ඉතින් ඉස්සරහට ඒ වගේ අලු‍ත් නිර්මාණ ලබා දෙන එක අභියෝගයක් වෙයිද ?
ම්..ඔව්, දැනටමත් ඉදිරියට කරන්න තියෙන දේවල් ටික ප්ලෑන් කරගෙන යනවා. තාම ඒ නිර්මාණ ටික නම් එළියට දැම්මේ නැහැ. ඉතින් ඉස්සරහදි බලාපොරොත්තු වෙනවා මීට වඩා වෙනස් දෙයක් අපේ රට ඇතුලේ හඳුන්වලා දෙන්න.

★ එකවර එකිනෙකට වෙනස් චිත්‍ර හයක් අඳිනකොට මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ?
මං ඒ වීඩියෝ එක ීචැැා කරල හදල තියෙන්නේ. මොකද මම ඒ චිත්‍ර හය අඳින්න පටන් ගත්තේ දවල්, ඒත් රෑ තමයි ඇඳලා ඉවර කළේ. ගොඩක් අවධානය දෙන්න ඕනේ. පෑන් හය එකම තැන එකට වදින්නත් ඕනේ. රූප හය වෙන වෙනම නිර්මාණය වෙන්නත් ඕනේ. එතකොට අත, ඇහැ කියන දෙක ම චිත්‍ර හයටම යන්න ඕනේ. ඒ වගේම කොළයට බැලන්ස් කරගන්න ඕනේ. එහෙම කරලා තමයි ඇඳලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔලු‍ව, රැවුල ඒ වගේ දේවල් ටික අඳිද්දි නම් ලේසියෙන් අඳින්න පුළුවන්. හැබැයි ඇස්, නහය ඒ දේවල් ටික අඳිද්දි තමයි අභියෝගයක් වෙන්නේ. මොකද ඛසටයඑ ක්‍දකදර වෙන්න ඕනේ තැන් ෘ්රන ක්‍දකදර වෙන්න ඕන තැන් ටික මතු කරගන්න ඕනේ නිසා.

★ සඳමිණි, පාසල් ගුරුවරියක් විදිහට චිත්‍ර අඳින්න කාලය කළමනාකරණය කරගන්නේ කොහොම ද?
දැන් මට නිතරම වගේ අලු‍ත් නිර්මාණ කරන්න කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ වුනාට මේ පාර පාසල් නිවාඩුව නිසා ගෙදර ගියාම තමයි මේ අලු‍ත් දේ කරන්න පෙලඹුණේ. මොකද මීට කලින් මම අලු‍ත් නිර්මාණයක් දැම්මේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ඒ පාසල් නිවාඩුවකදී. ඒ නිසා දිනපතා අලු‍ත් දේ නිර්මාණය කරන්න කාලය නැහැ. හැබැයි මාසෙකට සැරයක් මාස දෙකකට සැරයක් වගේ මම අලු‍ත් දෙයක් නිර්මාණය කරනවා ලැබෙන කාලයත් එක්ක. ඊට අමතරව සාමාන්‍ය විදිහට සාමාන්‍ය චිත්‍ර අඳිනවා.

★ අපි සඳමිණිගේ පාසලත් මතක් කරමු. ඉගෙන ගත්තු පාසල වගේම දැන් උගන්වන පාසලත්.
මං මුලින්ම ඉගෙන ගත්තේ මගේ ගමේ පාසල අම්පාර පාදාගොඩ විද්‍යාලයෙ. උසස් පෙළ හැදෑරුවේ අම්පාර පොල්වත්ත ජාතික පාසලෙන්. ඊට පස්සේ මම වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට තේරුණා. දැන් මේ වෙනකොට චිත්‍ර විෂයෙන් ගුරුවරියක් විදිහට සේවය කරනවා වරකාපොළ මාහේන කනිෂ්ඨ විද්‍යාලයේ.

★ චිත්‍ර විෂය භාර ගුරුවරියක් විදිහට වැඩ කරනකොට දුවා දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ චිත්‍ර, වීඩියෝ දැකලා ඒ නිසාම එයාලා චිත්‍ර විෂයට දැන් වැඩි ඇල්මක් දක්වනවා. විෂය ආසාවෙන් කරනවා. ඒ වගේම දුවා දරුවනුත් මගේ පාරෙ යම් තරමක් ගිහින් එයාලත් දැන් අලු‍ත් අලු‍ත් දේවල් කරන්න පෙලඹිලා ඉන්නේ.

★ සඳමිණි අලු‍ත් අලු‍ත් වැඩ කරන කෙනෙක් නේ. ඉතින් ්රඑි වැඩ වලින් මේ වෙනකොට මොනවද කරලා තියෙන වෙනස් දේවල්?
මම සෝෂල් මීඩියා වල ්රඑ කරන්න පටන් ගත්තේ 2018 අවුරුද්දේ. ඊට පස්සේ ඒක ඒකාකාරී නිසා මට හිතුණා මං කරන පෝටේ්‍රට් එක වෙනස් කරලා ඒකෙන් පුංචි වෙනසක් කරන්න. ඉතින් මං හිතුවා ඒක මුද්දර ප්‍රමාණෙට ඒ කියන්නේ සෙන්ටිමීටර් දෙකත් සෙන්ටිමීටර් තුනත් කියන ප්‍රමාණයට නිර්මාණ කරන්න. ඉතින් ඒ විදිහට තමයි මුලින් ම මගේ නිර්මාණවල වෙනස්කම් කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ එතනින් මාව හුග දෙනෙක් දැනගත්තා. මොකද ඒ වෙද්දි ලංකාවේ කවුරුත් ඒ වගේ චිත්‍ර ඇඳලා තිබ්බේ නැහැ. ඒවා කී ටැග්, පෙන්ඩන්ට් වගේ දේවල්වලින් ගොඩක් අය අතරට ගියා.
ඉතින් ඊට පස්සේ මට ඕන වුණා තවත් පුංචි වෙනසක් කරන්න. 2022 අවුරුද්දේ මුල වගේ මම කවකටු ආර්ට් කරන්න පටන් ගත්තා. මොකද ඒ වෙද්දි කවකටු ආර්ට් ලංකාවට අලු‍ත් දෙයක්. කවුරුත් කරල තිබුණෙ නැහැ. ඒ වෙනසට කැමති නිසා මම කවකට්ටෙන් චිත්‍ර අඳින්න පටන් ගත්තා. මගෙන් පස්සේ ඒ දේ කිහිපදෙනෙක් කරලා තිබුණා. ඉතින් මට සතුටුයි ලංකාවට ඒ වගේ දෙයක් හඳුන්වලා දෙන්න පුළුවන් වුන එක ගැන. ඊළඟ වෙනස්කම, පෑන් දෙකක් භාවිත කරමින් චිත්‍ර අඳින්න පටන් ගත්තෙ 2022 අවුරුද්දේ අග වගේ. ඒක කරන්න කලින් මම නිකම් නෝමල් ආර්ට් එකක් කරලා බැලු‍වා තනි පැන්සලක් කෝටුවක සවිකරලා. ඒක පහසු වුන නිසා තමයි මම පෑන් දෙකේ චිත්‍රයට ගියේ. ඒ වෙනසත් කරලා පෑන් තුනකින් චිත්‍රයක් ඇන්දා ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල. ඊට පස්සේ තමයි අලු‍ත් ම නිර්මාණය විදිහට පෑන් හයකින් පුද්ගලයන් හය දෙනෙක් එකවර ඇන්ඳේ..

★ මේ වගේ වෙනස් නිර්මාණ කරනකොට ඒ සඳහා පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දෙමව්පියන්, අක්කලා, ඒ වගේම මගේ හස්බන්ගෙන්, යාලු‍වන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය කියන්නේ යම් යම් විදිහට අපි කොච්චර හොඳ දෙයක් කරත් දොස් පැවරෙන වටපිටාවක් තියෙන තැනක් නේ. ඉතින් ඒ තැන්වලදී මාව ගොඩක් ආරක්ෂා කරන්නේ එයාලා. මට ඉස්සරහට යන්න හයියක් වෙන්නේ එයාලා. මොකක් හරි ප්‍රශ්නයක් වෙනවනම් එතනදි එයාලා මැදිහත් වෙලා ඒ දේවල් ටික විසඳගෙන ඉදිරියට යන්න මට හයියක් වෙනවා. පවුලේ අය වගේම මගේ යාළුවොත් ඒ තැන්වලදී මට ලොකු හයියක් වෙනවා.

★ චිත්‍ර අඳිනකොට සිදුවුනු ලස්සන සිදුවීම් මොනව ද?
ලස්සන සිදුවීම් තියෙනවා. සාමාන්‍යයෙන් මම බිස්නස් එකක් විදිහට පෝටේ්‍රට් කරගෙන යනවා. සමහර වෙලාවට මට මුණගැහිලා තියෙනවා තරහ වෙලා ඉන්න අය, කතා නොකර ඉන්න අය, යාළුවෙන්න බලාගෙන ඉන්න අය.. ඒ අය වෙනුවෙන් චිත්‍රයක් ඇඳලා දුන්නට පස්සේ ඒ දෙන්නා එකතු වෙනවා. එහෙම චිත්‍ර ඇඳලා දුන්නු කිහිප දෙනෙක් දැන් විවාහ වෙලත් ඉන්නවා. එතකොට ඉතින් එයාලා කියනවා “ඔයා ඇඳපු චිත්‍ර දීල තමයි අපි මෙහෙම දැන් එකට ඉන්නේ ”‍ කියලා. ඒවා ඇහෙනකොට මට ගොඩක් සතුටුයි. තාම කිසිම තැනකින් මට දෝෂාරෝපණයක් ඇවිත් නැහැ.

★ චිත්‍ර නිර්මාණ ඔබ වෙනස් ආකාරයට කරන නිසා වැඩි ඉල්ලු‍මක් ලැබෙනවා ඇතිනේ. ආර්ථිකමය වශයෙන් හයියක් වෙනවද මේ කලාව?
ඇත්තටම ඔව්, මට ජොබ් එකක් හම්බෙන්න කලින් හැමදේම මං කරගත්තේ මගේ මේ බිස්නස් එකෙන්. දැන් නම් රැකියාවත් එක්ක යම් මට්ටමකට ඒ දේවල් සීමා වෙලා තියෙනවා. ඒත් කාලය ලැබෙන විදිහට ඒ දේවල් ටික කරගෙන යනවා. මගේ දේවල් කරගන්න මේ සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට ගිහින් ලැබෙන මුදල මට ප්‍රමාණවත්.

★ සඳමිණි චිත්‍ර විෂයට අමතරව කැමති වෙනත් විෂයක් තියෙනව ද?
ඔව්.. චිත්‍රවලින් පස්සේ මං කැමතිම විෂය තමයි ඉතිහාසය. දැනටත් ඒ විෂයට මං ගොඩක් ආසයි.

★ සඳමිණිගේ හැකියාවට, දක්ෂතාවයට ලංකාවේ නිසි තැන ලැබෙනවා කියලා හිතනව ද?
ඇත්තටම අනෙක් රටවල් එක්ක ගත්තම අපේ රටේ චිත්‍ර ශිල්පයට, කලාකරුවට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැහැ. මං වගේම තවත් දක්ෂ චිත්‍ර ශිල්පීන් ඉන්නවා මේ රටේ. ඒත් එයාලගේ හැකියාවට නිසි තැන නොලැබෙන නිසා එයාලා එයාලගේ හැකියාවන් හංගගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඒ නිසා අපේ රටට අවශ්‍ය වටිනා සම්පත් ටිකක් සැඟවිලා යනවා. අපේ රටේ මට ආදරේ පිරිසගෙන් මට ඇගයීම් ලැබෙනවා. හැබැයි අපේ දක්ෂතාවය එක්ක සුදුසු තැනක් ලැබෙන්නේ නැහැ. වෙනත් රටවල ඒ දක්ෂතා තියෙන අයට ඇගයීම් ලැබෙන විදිහ අපි දකිනවා. ඒක බලද්දි අපේ රටේ ගොඩාක් අඩු මට්ටමින් තමයි කලාකාරයා කියන කෙනාට තැනක් ලැබෙන්නේ.

★ සඳමිණිගේ අනාගත ඉලක්කය මොකක් ද?
මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ මගේ ඉලක්කය වෙනස් වුණා. මට අදහසක් තියෙනවා දක්ෂ ළමයි වෙනුවෙන් ඇකඩමියක් පටන් අරන් එයාලගේ චිත්‍ර ජාත්‍යන්තර මට්ටමට අරන් ගිහින් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන්න වගේම එයාලට ව්‍යාපාරික අවස්ථා හදලා දෙන්න. ඒ පසුබිම එයාලට හදලා දෙන එක තමයි දැනට මගේ ලොකුම ඉලක්කය වෙන්නේ.

★ අපේ රටේ චිත්‍ර අඳින්න ආසාවෙන් ඉන්න දරුවන්ට චිත්‍ර ගුරුවරියක් විදිහට සඳමිනීට කියන්න තියෙන්නේ මොනව ද?
මට මුණ ගැහෙන ගොඩක් ළමයි ඉන්නවා එයාලගේ හැකියාවන් වෙනස්. නිර්මාණශීලීයි. හැබැයි දෙමව්පියෝ දෙමව්පියන්ගේ කැමැත්තට දරුවාව යොමු කරවනවා වෙනත් පැත්තකට. එතකොට දරුවාගේ දක්ෂතාවය හීන වෙලා යනවා සහ එයාලට ඉස්සරහට යන්න තියෙන ගමන වැළකෙනවා. දරුවට චිත්‍ර අඳින්න පුළුවන්නම් එයා ආසයි නම් නම් පවුලේ ආභාසය සංගීතය කියලා සංගීතය කරල හරියන්නේ නැහැ. සංගීත හෝ වෙනත් දෙයකට හැකියාව තියෙන දරුවව චිත්‍රවලට යොමු කරලා හරියන්නෙත් නැහැ.

චිත්‍ර විෂයට කැමති දරුවන්ට මට කියන්න තියෙන්නේ ඔයාගේ හැකියාව හඳුනගෙන තාක්ෂණයත් භාවිත කරමින්, අලු‍තින් හිතමින් අලු‍ත් වෙනස් දෙයක් නිර්මාණ කරන්න. ඒ වගේම දෙමව්පියන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙ දරුවාගේ හැකියාව හඳුනගෙන ඒ පැත්තෙන් දරුවාව යොමු කරන්න. එතකොට සාර්ථක දෙයක් දරුවාගෙන් ගන්න පුළුවන්.

සටහන : සංවාද සටහන – සිතාරා හංසිනි ද සිල්වා