ආලෝකයේ සැමරුම දීපවාලි !

ඉන්දියානුවන්ගේ ආගමික උත්සව බහුතරයක් ආලෝකය සමඟ බැඳී පවතී. ඔවුන්ගේ දෛනික ජීවිත ප්‍රාර්ථනා සමඟ මුසුව එන මේ ඇදහීම් අතිශය විචිත්‍රය. ආලෝකය සහ අඳුර පිළිබඳ සංකල්ප ආගමික මතයක් තුළින් අපට පෙන්වන්නට ඔවුන් සමත් වී ඇත. හින්දු ආගමිකයන් උත්සව සම්බන්ධයෙන් දක්වන මේ ලෝලත්වය නිසාම ඔවුන්ගේ සංස්කෘතික හැඟීම් ඉතාම පහසුවෙන් ලෝකයේ වෙනත් රටවල් කරා ද ව්‍යාප්තව ඇත. දීපවාලි උත්සවය ද එවැන්නකි. ඔවුන්ගේ මේ ඝනඳුර දුරලා ආලෝකය ලබා ගැනීම හුදෙක් භෞතික ජීවිතය සන්තර්පනය කරන්නක් නොවේ. එහි ඊට වඩා ගැඹුරු දාර්ශනික අර්ථයක් ඇත. මිනිස් ජීවිතයේ නපුර සහ වේදනා දුරලා ආලෝකය නම් සංතෘෂ්ටිය කරා එළැඹීමට ඔවුන් තැත් කරයි. හින්දූන්ගේ සෑම සැමරීමකටම අනන්‍ය පසුබිම් කතන්දර සහ ආගමික වතාවත් රාශියකි. බහු වාර්ගික, බහු ආගමික නිදහසක ජීවත් වන ඔවුන් තමන් අදහන කුමන ආගමක් විෂයේ වුව අතිශය භක්තිමත්ය. මේ අනුව ගත් විට දීපවාලි යනු ඔවුන්ගේ සශ්‍රීකම සංස්කෘතික උලෙළයි.

දීපවාලි උත්සවය සබැඳිව මතිමතාන්තර ‍රැසකි. ලක්ෂ්මි දෙවියන්ගේ උපන් දිනය ලෙස මෙන්ම විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මිය බේරාගත් දිනය ලෙස ද එක් මතයකි. එසේම ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරකාසුර මරා දැමූ දිනය ලෙසත් තවත් තැනෙක සඳහන්ය. ජෛන ආගමේ නිර්මාතෘ ජෛන මහාවීර නිර්වාණාවබෝධය ලැබූ දිනය ලෙසත් තවත් මතයකි.

හින්දූන්ගේ චන්ද්‍ර දින දර්ශනයට අනුව ඔවුන්ගේ නව වසර ඇ‍රැඹෙන්නේ ඔක්තෝබරයේදීය. ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද තෙක් එක් දිනයක් දීපවාලී උත්සවය පැවැත්වීමට නියම කර ගනී. එය චන්ද්‍රයාගේ පිහිටීම අනුව වෙනස් වේ. මේ වසරේ එම දිනය ඔක්තෝබර් 31 වැනිදා (අදට) යෙදී ඇත. සාමාන්‍යයෙන් දින පහක් මුළුල්ලේ දීපවාලී උත්සවය සැමරේ. වසර 35000ක් පමණ පැ‍රැණි මේ සැමරුම වටා බැඳුණු රසවත් අතීත කතා රාශියකි. ඒවා අතරින් වඩාත් ප්‍රකට අසුරයන් පරදවා සුරයන් ජයග්‍රණය කිරීමේ සංසිද්ධියයි. ලෝකයට යහපත උදා වීම භක්තිය නමැති පහන දල්වා සැමරීමට සිතීම ජනිත කරවන්නේ පහන් හැඟීමකි.

සිය දහස් ගණනින් පහන් දල්වා, ගෙවල් ඇතුළත බිම මෙන්ම එළිමහනේ ද කෝලම් ආදිය ඇඳ දීපවාලි උත්සවය සැමරීම සිදු කෙරේ. ඉන්දියානුවන් මේ වෙනුවෙන් ලක ලැහැස්ති වන්නේ සතියක පමණ කාලයක සිටය. බොහෝ ප්‍රාන්තවලට ශීත කාලය නිල වශයෙන් එළැඹෙන්නේ දීපවාලි උත්සවයත් සමඟය. සම ශීත කාලයක සිට ඔක්තෝබර් අග වන විට සීත කබා අඳිමින් ඔවුහු නව සෘතුවට සූදානම් වෙති. දීපවාලි දා තැන් තැන්වල තැනෙන ගිනි ගොඩවල් වටා චායි බොමින් සාද කතා පැවැත්වීම නව දිල්ලියේ නම් සුලබ දසුනකි. ගිණිය නොහැකි තරමේ පහන් දල්වන නව දිල්ලි වැසියෝ ඒ වෙනුවෙන් අප්‍රමාණ ගිනි කෙළි ද පවත්වති. නිලා වර්ග ආදියෙන් පටන් ගෙන නොයෙකුත් විචිත්‍ර මාධ්‍ය දල්වන ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආලෝකය වෙත එළැඹෙති.

අහස පුරා විසිරෙන මල් වෙඩි සංඛ්‍යාව ද බොහෝය. බිර්ලා මන්දීර්වල පහළට කඩා වැටෙන සේ සරසා ඇති බල්බ් වැල් ප්‍රමාණය කිව නොහැකි තරම්ය. කුඩා වීදි මත ඉහළ සිට පහළට වියන් බැඳ ඇත්තේ බල්බ් වැල්වලිනි. කාර්යබහුල කොළණි ඇතුළත ඇති ප‍ටු මාර්ගවල බිම කෝලම් වර්ග ඇඳ ඒවා මත කැරකෙන ගිනි කෙළි පත්තු කිරීම මේ නාගරිකයන්ගේ තවත් පුරුද්දකි. මහල් නිවාසවල මතු මහල් මතින් බිමට කඩා වැටෙන සේ සකසා ඇති කුඩා බල්බ් වැල් ඇති කරන්නේ සෞන්දර්යයකි. ගිනිකෙළි වෙළෙඳසල් ඉදිරිපිට පෝලිම් ගැසුණු ජනී ජනයාය. මේ සියල්ලන්ම අත ජනප්‍රියම නිලාවයි. එහි මිල අඩු වීම අනෙක් හේතුව විය හැකිය. එසේම ලාංකිකයන් විසින් දීපවාලි කියා හැඳින්වූවාට මේ උත්සවය ඉන්දියානුවන් හඳුන්වන්නේ දීවාලි නමිනි.

දීපවාලි උත්සවය වටා බැඳුණු තවත් සංස්කෘතික අංග ද රාශියකි. විවිධ කැවිලි වර්ග මෙකල අතිශය ජනප්‍රියය. එවෙලේම තනා දෙන පැණි වළලු අනිවාර්ය අංගයකි. ගුලාබ් ජමූන්, රස්ගුල්ලා, ලඩ්ඩු, ගාජර් කා හල්වා, පයාසාම්, ජලේබි ආදී රස කැවිලි දීපවාලි උත්සව කාලයේ බහුලව දැකිය හැකිය. මේ රස කැවිලි ඇසුරුම් සමඟ නෑදෑ, හිත මිත්‍රයන් බැලීමට යෑම තවත් චාරිත්‍රයකි. සෑම තැනකම විකිණීම පිණිස තබා තිබෙන පිච්ච මල් මාලා හිස ගසමින් කාන්තාවන් කෝවිලට යනු ලබයි. සුගන්ධවත් දේ හිස සැරසීමට භාවිත කිරීම ඉන්දියානුවන් අතර යුග ගණනාවක සිටම ප්‍රකට දෙයකි. පොංගල් බත් ඉවීමත්, අසල්වැසියන්ට පොංගල් බත් සමඟ රස කැවිලි ගෙනැවිත් දී ‘සුබ දීවාලි උත්සවයයක් වේවා!”යැයි පැතීම සාමාන්‍ය සිරිතය. ඉන්දියානුවන්ගේ සැබෑ දීපවාලි උත්සවශ්‍රීය නැ‍රැඹිය හැක්කේ රාත්‍රිය උදාවීමත් සමඟය. එනම් ආලෝකයේ උත්සවය පටන් ගන්නේ අඳුර එළැඹීමත් සමඟය. චාරිත්‍ර විධි අතර සුළු වෙනස්කම් සහිතව විවිධ රටවල දීපවාලි උත්සවය සැමරෙයි. ලංකාව ආශ්‍රයෙන් ගත් විට පොංගල් බත් සෑදීම ඇතුළු විවිධ රස කැවිලි සෑදීමත් කෝලම් ඇඳීමත් වඩාත් ප්‍රකටය. අලුත් ඇඳුමින් සැරසී කෝවිල් කරා යන හින්දු භක්තිකයෝ දෙවියන් උදෙසා පුද පූජා පවත්වති. ඒ තමන්ටත්, ලෝකයටත් යහපත උදා වනු ඇතැයි බලාපොරොත්තුවෙනි.