“Dreams are the seeds of Success” ඒ කියන්නේ සිහින තමයි සාර්ථකත්වයේ මූල බීජය වෙන්නේ. ඉතින් මේ කියන්න යන්නේ මම මේ ලඟදී ගුවන් ගමනක් යද්දී අත්විඳපු හරිම සුන්දර සහ සමහර විට ආයිත් ජිවිත කාලයේදීම අත්විඳින්න නොලැබෙන්න පුළුවන් හරිම සුන්දර අත්දැකීමක් ගැන. මමත් මේ සොඳුරු ගුවන් ගමනේ තවත් මගියෙක්.
ඉතින් කතාවේ මුලරම්භයට මම යොදා ගත්ත උපහැරණය ඔස්සේ ගියොත් ඕනෑම පුද්ගලයකුට ජිවිතේ සිහින තියෙන්න පුළුවන්. ඒවා හැබෑ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි සිහින තියෙන ඕනෑම අයෙක් ඒ වෙනුවෙන් යොදන උත්සාහය මත තමයි ඒ සිහින හැබෑ වෙලා සාර්ථකත්වය ලඟා කරගන්නේ. ඉතින් මේ පුංචි යොහනාගේ සිහිනයත් එහෙම හීනයක් කියලයි ගුවන් ගමනේ හිටපු තවත් එක් මගියෙක් වෙච්ච මටනම් හිතුනේ. හරි අපි කතාවට යමු.
කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වෙච්ච අපේ ගමනාන්තය වුනේ මලයාසියාවේ ක්වාලාලම්පුර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපල. අපේ ජාතික ගුවන් සේවාව වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 314 දරන ගුවන් මාර්ග අංකය යටතේ තමයි අපි ගමන් ගනිමින් හිටියේ. ජාතික ගුවන් සේවය ගැනත් නොයෙකුත් කතා අපි අහලා කරලා තිබුනත්,(හුඟක් වෙලාවට අහන්න ලැබුනෙත් හොඳ නෙමෙයි නේ පහුගිය දවස්වල) කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් නෙමෙයි හොයලා බලල විස්වාස කරන්න ඕනේ කියලා ඔයාලටත් හිතෙයි මේ කතාව කියෙව්වට පස්සේ.

පුංචි යොහානා එයාගේ දෙමව්පියන් එක්ක වාඩිවෙලා හිටියේ ගුවන් යානයේ පසුපස කොටසට වෙන්න තියෙන කැබින් එකේ 57 58 වගේ පේළියක. පුංචි ගුවන් සේවිකාවක් වගේ හැඳ පැළඳ ගෙන හිටපු යොහානාවත් අපිවත් ගුවන් කාර්ය මණ්ඩලය පිළිගත්තේ, ආචාර කලේ සංග්‍රහ කලේ ශ්‍රී ලාංකීයයන්ගේ නිරායාසයෙන්ම එන ආගන්තුක සත්කාරය අපිට පසක් කරවමින්. හැබැයි ඉතින් යොහානාටත් එයාගේ දෙමව්පියන්ටත් විශේෂ අවධානයක් ලබල දෙන්නේ මේ පුංචි සිඟිත්ති. ගුවන් කාර්ය මණ්ඩලයත් එක්ක හරි හරියට කතා කලේ හැසිරුණේ හරියට කල්ප කාලාන්තරයක් තිස්සේ දන්නා හඳුනන කෙනෙක් විදිහටයි. යෝහානගේ පැත්තේ වැඩ කරපු ගුවන් සේවකයාට (නමින් මතක විදිහට shehan හරි shenan හරි – සමාවෙන්න නම වැරදි නම්) ඉස්පාසුවක් නැහැ මේ පුංචි කෙල්ලගෙන්. අනෙක් මගීන්ගේත් ගමන් සුවය සලසා දෙමින් ඒ අවශ්‍ය දේට යොමු වෙමින් මේ හැඩි දැඩි තරුණයාත් අර පුංචි කෙල්ලව සන්තෝස කරන්න හැමදේම කලේ තාත්තා කෙනෙක් තමන්ගේ දුවෙක්ට ඒ ආදරය කරුණාව දයාව දක්වන විදිහට. ඇත්තටම මම පුදුම වුණා අපේ ගුවන් සේවය ගැන කොච්චර අසුභවාදී දේවල් ඇහුනත් මෙහෙමත් සේවයක් ලබාදෙන මිනිස්සු මේ ගුවන් සේවයේ ඉන්නවා නේද ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ නේද කියල.
පුංචි යොහානාගේ දෙමව්පියන් ගුවන් කාර්ය මණ්ඩලයට කියනවා මට ඇහිච්ච විදිහට, පුංචි යෝහානගේ එකම සිහිනය කවදාහරි දවසක අපේ ජාතික ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වීම ලු. හැබැයි ඒ විතරක් නෙමෙයි යොහානා ඒ හීනයේ දැනටමත් ජිවත් වෙනවා කියලයි මට නම් හිතුනේ. පුංචි හිත් කොච්චර ලස්සනද කොච්චර හුරතල්ද කියල යෝහානව දකින ඕනෑම කෙනෙකුට හිතෙනවා.



පැය 3.5 කට ආසන්න කාලයක් යෝහානගේ සිහිනයේ යොහානා එක්ක මලයාසියාවට ගමන් ගත්තු අපි මලයාසියාවේ ගුවන් තොටුපලේ ගමන් මලු නිෂ්කාශන පර්යන්තයේ ඉන්නකොට දකින්න ලැබුනේ තවත් අමුතුම සතුටක් සහ ආශ්වාදයක්. ඒ තමයි යොහානාගේ දෙමව්පියන්ගේ මුහුණු වල තිබුණ සතුට. අපි ගුවන් යානයෙන් බැස ගියාට පස්සේ යොහානාට අවස්ථාවක් ලැබිල තිබුණා ගුවන් නියමු කුටියටත් ගිහින් එම ගුවන් නියමුවන් එක්කත් සොඳුරු පිළිසඳරක යෙදෙන්න. ඉතින් යොහානාගේ දෙමව්පියන් නම් එතන හිටපු ලාංකිකයන් හැමෝටම වගේ කිව්වේ “මේක යොහානාගේ ජිවිතයේ අමතක නොවනම සංදිස්ථානයක් වෙයි” කියලයි. දෙමව්පියන්ට තමන්ගේ
දරුවන්ගේ සතුට දකිනවා තරම් වෙන දෙයක් කොහෙද.
ඉතින් මට කියාගන්න ඕන වුනේ අපි අපේ දේවල් ගැන මීට වඩා වැඩියෙන් හොයල බලල කතාකරන්නත් අපේ දේවල් ගැන අගයන්නත් ඕනේ කියන එකයි. අර ගුවන් සේවකයා (shehan හරි shenan හරි) ඇතුළු අපේ සමස්ත ගුවන් කාර්ය මණ්ඩලයම එකතු වෙලා පුංචි යොහානාගේ සිහිනය ජිවත් කරවන්න හරියට යුහුසුළු වුණා. දෙමාපියන් දෙන්නෙක්ගේ මුවගට සිනහවක් වගේම හිතට අමතක නොවෙන සතුටක් ගේනවා. ඒ හැමදේටම ඒ සිල්යළුම ගුවන් කාර්ය මණ්ඩලයටම හදපිරි ආචාරය වගේම ගෞරවය. පුංචි යොහානාටත් එයාගේ සිහිනය කවදාහරි ජයගන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනාවක් එක් කරනවා.
මේ ගැන කිව යුතු දැනගත යුතු නිලධාරියෙක් ගැන මට අවබෝධයක් නැති නිසා මේ විදිහට සටහනක් එක්ක පුංචි යෝහනගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා ගත්ත පින්තුර ටිකක් එක්ක මේ සටහන ඔබට එවන්න හිතුන. පුලුවන්නම් මේක ලැබිය යුතු දැන ගත යුතු තැනැත්තෙක්ට ලැබෙන්නට සලස්ස්වන්න. මොකද අර තරුණයා ඇතුළු ගුවන් කාර්ය මණ්ඩලයම පැසසුමට ලක්විය යුතුම නිසා. ඒ වගේම අපේ ගුවන් සේවය ගැන තියෙන ගොඩක් දුර්මත නැති වෙන්න ඕන නිසාත්.
යොහානාගේ සිහිනයේ ගමන් කරපු එක් ලාංකීය මගියෙක්
(උපුටා ගැනීමක්)
