
1861 වර්ෂයේ මැයි මස 08 වන දින උපත ලැබූ රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ පියා මහා සෘෂි දේවේන්ද්‍රනාත් තාගෝර් වූ අතර මව වනුයේ ශර්දා දේවි ය.
උතුරු කල්කටාවේ ජොරසොන්කෝ පිහිටි තෙමහල් මන්දිරය මෙතුමාගේ නිවහන විය. තාගෝර් තුමා පවුලේ දහ හතර වැනි දරුවා වූ අතර කුඩා කල සිටම මොහු සංගීතය ප්‍රිය කළ තැනැත්තෙකි. වයස අවුරුදු 15 දී පමණ "මනුපුල් කාව්‍ය" නිර්මාණය "භාණු සිංගර් පද්‍යාවලී" නම් භාව ගීත නිර්මාණය සිදු කළේය.
17 වන වියේ දී අධ්‍යාපන කටයුතු සදහා එංගලන්තයට ගියේය. 1880 වර්ෂයේ නැවත පැමිණ "ප්‍රභාත් ගීත්" හා "සන්ධ්‍යා ගීත්" නමින් කාව්‍ය ග්‍රන්ථ දෙකක් ලියුවේය.
" ජනගන මන අධි නායක ජයහේ
භාරත භාග්‍යා විධාතා
පංජාබ සින්දු ගුජරාට මරාථා
ද්‍රාවිඩ උච්චලවංගා
වින්ධ්‍යා හිමාවල යමුනා ගංගා
උච්ජල ජලධි තරංගා............."
යන ඉන්දියාවේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද රබීන්ද්‍රනාත් තාගෝර් තුමායි.
රබීන්ද්‍රනාත් තාගෝර්තුමා කවියෙකි. සාහිත්‍ය ධරයෙකි. චිත්‍ර ශිල්පියෙකි. අධ්‍යාපනඥයෙකි. දේශපාලනඥයෙකි. දාර්ශනිකයෙකි. එසේම සුප්‍රක්‍රට සංගීතඥයෙකි. ලෝකයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයන් අසමසම කවියන් අතර ශ්‍රේඨතම කවියා ද මොහු විය. මෙතුමා අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කිරීමේ දී අධ්‍යාපන ප්‍රතිපත්තීන් සකස් කර ඇත්තේ භාරතීය සංස්කෘතික ලක්ෂණ නොඉක්මවා පාරම්පරික ක්‍රම මතය. සමාජය තුළ අන්‍යෝන්‍ය සුහදතාවය, චරිත සංවර්ධනය, හික්මුණ බව, සිත පුහුණු කිරීම, සෞන්දර්යයට නැඹුරු කිරීම ආදී සංකල්ප එතුමා අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලෙසින් ඉස්මතු කර දක්වා ඇත.
මෙතුමා "තම රටේ අධ්‍යාපනය පාරම්පරික සංස්කෘතික ලක්ෂණ පදනම් කර ගනිමින් දේශීය සමාජීය ජීවිතයේ පසුබිමට ගැලපෙන පරිදි සකස් විය යුතුය." යන මතයෙහි එල්බගෙන කටයුතු කළ බව පෙනේ. එසේම ස්වභාවධර්මය සමග නිරන්තරයෙන් සබැදියාවක් පැවතිය යුතු යයි යන හැගීම ඔහු තුළ තදින් බලපැවැත්වූ බව ඔහු කළ කී දෙයින් සහ ඔහුගේ නිර්මාණ තුළින් මනාව පැහැදිළි වේ. අධ්‍යාපනය ලබන්නා තුළ සමබරතාවය වර්ධනය විය යුතුය. එබැවින් එක් විෂයකින් පමණක් එය කිසිදා ඉටු විය නොහේ. ගණිතයත් විද්‍යාවත් පමණක් අධ්‍යනය කිරීමෙන් පිරිපුන් මිනිසෙකු බවට පත් නොවේ. එබැවින් සෞන්දර්යය ද කෙනෙකු තුළ ප්‍රගුණ කළ යුත්තේ සෞන්දර්යාත්මකවය. සාහිත්‍ය සහ සෞන්දර්යය යන කරුණු ඉවහල් කර ගනිමින් පුද්ගලයෙකු හැඩ ගැස්සවීම ඔහු ඉතා අගය කළ දෙයකි. මෙතුමා විසින් 1901 දී සිසුන් තිදෙනෙකුගෙන් සමන්විත "ශාන්ති නිකේතනය" ආරම්භ කරන ලදී.
තාගෝර් තුමා ඉතා සාර්ථක නවකතා, කෙටි කතා හා නාට්‍ය කිහිපයක් නිර්මාණය කර තිබේ. මොහු විසින් ලියන ලද "ගීතාංජලී" ග්‍රන්ථයට 1913 වර්ෂයේ දී නොබෙල් ත්‍යාගය හිමි විය. එය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථම ආසියාතික සාහිත්‍ය කෘතියයි. බෙංගාලයේ ගීත නාට්‍ය ශෛලිය ව්‍යාප්ත කිරීමට රබීන්ද්‍රනාත් තාගෝර්තුමා ඇප කැප විය.
එතුමා නිර්මාණය කළ නාට්‍ය, සංගීත නාටක හා ප්‍රබන්ධ කතා අතර "තැපැල් කන්තෝරුව" "මානසී" "සාධනා" "චිත්‍රා" "අඩ සද" "ස්වර්ණමය බෙංගාලය ගද්‍ය පද්‍ය ප්‍රබන්ධ" "ගීතාංජලී" "ගෝරා නව කතාව" ආදිය ප්‍රධාන ස්ථානයක් ගනී. තවද ගීත නාටක ගී දහසකට අධික ප්‍රමාණයක් මෙතුමා අතින් ලියැවී තිබේ. "කාබිලිවාලා" කෙටි කතා සංග්‍රහය තුළින් ළමා මනසේ සුන්දරත්වය කියැවේ. 1934 මැයි මස 08 වන දින හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට මුල් ගල තැබීමද මෙතුමා අතින් සිදු විය.
1941 අගෝස්තු මස 07 වන දින මේ මහා ශ්‍රේෂ්ඨයා මෙලොව තමා ජීවත් වූ මන්දිරයේ දීම මෙලොව හැර ගියේය.