දිනය හරියටම කිව්වොත් 1996 අගෝස්තු 16 වැනිදා. එදා ඇමෙරිකාවේ ඉලිනොයිස් වල බෲක්ෆීල්ඞ් නගරයේ තිබ්බ බෲක්ෆීල්ඞ් සත්වෝද්‍යානය නරඹන්න විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. මේ පිරිස අතරේ හිටපු අවුරුදු 3 ක් වයස පුංචි දරුවෙක් එයාගේ අම්මටයි තාත්තටයි හොරෙන් සතුන්වත්තේ ගෝරිල්ලෝ රඳවලා හිටපු කූඩුව ළඟට ගියා. ගිහින් ගෝරිල්ලෝ දාලා හිටපු වළක් වගේ ස්ථානයේ තිබ්බ බිත්තියට නැග්ගා. බිත්තියට නැගපු මේ පුංචි දරුවව එක පාරටම අඩි 24 ක් (මීටර් 7.3 ක්) පහළින් තිබ්බ වළට ඇදගෙන වැටුණා. මේ වැටුණු පාර පුංචි දරුවගේ අත කැඩිලා ගියා. මුහුණේ එක පැත්තක ලොකු තුවාලයක් වුණා. පුංචි දරුවට සිහි නැති වුණා.
මේ කූඩුව ඇතුලේ හිටියා බින්ටි ජුආ (Binti Jua) කියලා අවුරුදු 8 ක් වයස ගෝරිල්ලෙක්. ඇය ගැහැණු සතෙක්. ඉතිං මේ ගෝරිල්ලා හෙමින් හෙමින් සිහිනැතිව බිම වැටිලා ඉන්න දරුවා දිහාට ආවා. ගෝරිල්ලා දරුවා දිහාට යනවා දැකපු නරඹන්නෝ මහ හයියෙන් විලාප දෙන්න ගත්තා. ඒත් කවුරුවත් දරුවා බේරගන්න මේ වළට පනින්න තරම් නිර්භීත වුණේ නම් නැහැ.
දරුවා ළඟට ආපු බින්ටි හෙමීට දරුවව ඔසවලා එයාගේ ඔඩොක්කුවට අරගෙන දරුවව ආදරයෙන් අතගෑවා. බින්ටිටත් හිටයා මාස 18 වයස පැටියෙක්. එයාගේ නම කෝලා. කෝලත් එයාගේ අම්මා ළඟට වෙලා අම්මා අර දරුවව හුරතල් කරනවා බලන් හිටියා. සිද්ධිය දැන ගත්ත සත්වෝද්‍යානයේ සේවකයෝ දුවගෙන ඇවිත් බින්ටි ඉන්න කූඩුවට බහින්න දොර ඇරියා. දොර අරින් සද්දේ ඇහුණු බින්ටි දරුවව වඩාගෙන අඩි 50 කට වඩා උස පඩිපෙළ නැගගෙන ගිහින් දරුවව ප්‍රවේශමෙන් සත්වෝද්‍යානයේ සේවකයන් අතට දීලා ආපහු කූඩුවට ආවා. පුංචි කෝලත් මේ මුළු වෙලාවෙම එයාගේ අම්මත් එක්ක හිටියා.


කූඩුවෙන් එළියට ගත්තු දරුවව ඒ වෙලාවෙම රෝහලට ගෙනිච්චා. දවස් 4 ක් රෝහලේ නැවැතිලා ප්‍රතිකාර ගත්තු දරුවා සම්පූර්ණයෙන්ම සුව වුණා.
මේ අපූරු සිදුවීමට ඒ කාලේ බොහෝම ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. බින්ටිව මුලු ලෝකය පුරාම ජනප්‍රිය වුණා. ඊට පස්සේ බෲක්ෆීල්ඞ් සත්වෝද්‍යානයට ආපු හැමෝම ඉස්සෙල්ලම ගියේ බින්ටිව බලන්න. බින්ටි කරපු මේ අසාමාන්‍ය ක්‍රියාවට සත්වෝද්‍යානයෙන් සෑහෙන කාලයක් යන කම් බින්ටිට විශේෂ කෑම තෑගි විදිහට දුන්නා.
බින්ටිගේ මේ ක්‍රියාව ගැන සත්ව විද්‍යාඥයෝ විශාල අවධානයක් යොමු කළා. ඔවුන් දෙපැත්තට බෙදිලා මේ ගැන වාද විවාද කළා. කට්ටියක් කිව්වා බින්ටිගේ මේ ක්‍රියාවට හේතු වුණේ සත්වෝද්‍යානයේ සේවකයෝ ඇයට ලබාදුන් මනා පුහුණුව කියලා. තවත් පිරිසක් කිව්වා එහෙම වුණේ සතුන් අතර දකින්නට ලැබෙන පරාර්ථකාමී ගුණය නිසා කියලා.

බින්ටි ඉපැදුණේ 1988 මාර්තු 18 වැනිදා. කොංගෝවේ භාවිතා කෙරෙන “ස්වාහිලි” කියන භාෂාවෙන් “බින්ටි ජුආ”කියන්නේ “හිරු එළියේ දියණිය” (Daughter of Sunshine) කියන එක. බින්ටිගේ තාත්තගේ නම “සන්ෂයින්” (Sunshine) ඒ නිසා තමයි බින්ටිට “ඩෝටර් ඔෆ් සන්ෂයින්” (Daughter of Sunshine) කියන නම ලැබුණේ. සන්ෂයින් ජීවත් වුණේ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සත්වෝද්‍යානයේ. බින්ටිගේ අම්මගේ නම ලුලු. එයා ජීවත් වුණේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ. බින්ටි ඉපැදුණාට පස්සේ බින්ටිව හදාවඩා ගන්න එක එයාගේ අම්මා ප්‍රතික්ෂේප කළා. ලුලු එයාගේ දුවව ළඟටවත් ගත්තේ නැහැ. ඒ නිසා ගොඩාක් පුංචි කාලේදිම බින්ටි බෲක්ෆීල්ඞ් සත්වෝද්‍යානයට අරගෙන ආවා. එදා ඉඳලා බින්ටිව ලොකු මහත් කළේ සත්වෝද්‍යානයේ සේවකයෝ. මිනිස්සු අතරේ, මිනිස්සුන්ගේ ආදරය ලබමින් ලොකු මහත් වුණා නිසා බින්ටි අර පොඩි දරවගේ සිද්ධියේදී ඒ තරම් මානුෂික විදිහට හැසිරෙන්න ඇති කියලා තමයි සත්ව විද්‍යාඥයෝ අනුමාන කරන්නේ.
බින්ටි තාම ජීවත් වෙනවා. එයාගේ වයස දැන් අවුරුදු 35 ක්.
– අනිල් කරුණාරත්න –